Header Ads

මහින්දට හොදම ගේම දුන්නේ මමයි…

පළාත් පාලන මැතිවරණයේ බේරුවල නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ කාර්යාල විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදි.

ඒ අනුව බේරුවල මරදාන මාළු වෙළෙදපොල අසල දී මොහොමඩ් සෆ්රාස් මහතා විසින් සංවිධානය කළ ජන රැළිය ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා බේරුවල ආසනයත් පොහොට්ටුව දිනනවා කියලා. බේරුවල ආසනයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් නොකළ අය කොහොමද බේරුවල දිනන්නේ. බේරුවල නගර සභාවට ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වන අපේක්ෂකයින් කියනවා අපි මහින්ද රාජපක්ෂත් එක්ක නොවෙයි ඉන්නේ කියලා. මම පොදුජන පෙරමුණේ බේරුවල සංවිධායකවරයාට ප්‍රකාශ කරනවා පුලුවන් නම් හිටපු ජනාධිපතිවරයා රැගෙනවිත් මෙම ක්‍රිඩාංගණයේ රැස්වීමක් තියන්න කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා බේරුවල දිනනවා කියලා කියනවා. හරියට බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ. එක්සත් ජාතික පක්ෂයට මැදකොළඹටත් වඩා බේරුවල ආසනයේ ජයග්‍රහණය ස්ථීරයි. එම නිසා මම හිටපු ජනාධිපතිවරයාට කියනවා බේරුවල ආසනය එක්සත් ජාතික පක්ෂය ජයගන්නවා කියලා. හිටපු ජනාධිපතිවරයා සමස්ත මැතිවරණයම ජයග්‍රහණය කිරීම පැත්තකට දමලා බේරුවල දිනන්න එනවා.

මම හිටපු ජනාධිපතිවරයාට කියනවා පසුගිය රජය සමයේ ආසන 160 ක් තිබිය දී ‍2015 මහ මැතිවරණයේ දී මාව පැරදවීමට ඔබ තුමා ආසනයට දෙවරක් පැමිණ රැස්වීම් පැවැත්වුවා. ජනාධිපති ආර්යාව හතර වතාවක් ඇවිත් රැස්වීම් පැවැත්වූවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා හය වතාවක් පැමිණ රැස්වීම් පැවැත්වූවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා තුන් වතාවක් පැමිණ රැස්වීම් පැවැත්වූවා. දේශපාලනයට එන්නේ නැති යෝෂිත දෙවරක් පැමිණ රැස්වීම් පැවැත්වූවා. හිටපු ජනාධිපතිරයා ප්‍රකාශ කළා මට රාජිත පැරද්දුවා නම් ඇති කියලා. ඒ මොකද එයාට හොදම ගේම දුන්නේ මමයි. එවිට තරහක් තිබෙනවා. කොතරම් බලපෑම් කළත් මම බේරුවල ආසනය වැඩි ඡන්ද 15,000 කින් ජයග්‍රහණය කළා. මම කියන්න කැමැතියි පෙබරවාරි 10 දා පළාත් පාලන මැතිවරණයේ දීත් පොහොට්ටුවට එම උත්තරය ලබාදීමට මම සුදානම්. හැංගි හැංගි ඇදුම් ඇන්දත් නටන්න වෙන්නේ එළියේ.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා මසාහිම් මොහොමඩ් මගේ ගෝලයා කියලා. දර්ගා නගරයේ මුස්ලිම් ජාතිකයින්ගේ දේපල ගිනි තැබූ පුද්ගලයින් සමග එකතු වෙලා ඇතැම් අය ඡන්දය ඉල්ලනවා. මට පළමුව මතවාදී ප්‍රහාරයක් එල්ල කළ ඥානසාර හිමියන් බේරුවලට ගෙනාවේ මම ද? අලුත්ගම හන්දියේ රැස්වීම් තැබීමට අවසර දුන්නේ මම ද? පෙළපාලි යන්න කිවේ මම ද? නැහැ. ඒවාට අවසර ලැබුනේ ඉහළ නියෝගයකින්. බේරුවල නගර සභාවට ඉදිරිපත්වන ස්වාධීන කණ්ඩායමේ නායකයින්ට ඒවා තේරෙන්නේ නැහැ. ලැඡ්ජාවක් නැහැ. ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් තමයි ඔවුන් ඡන්දය ඉල්ලන්නේ. මැණික් වෙළෙද ව්‍යාපාරයට. නැතිනම් නීති විරෝධී ව්‍යාපාර කටයුතු වලට. ඒවාට හිටපු නායකයින් උපකාර කරනවා.

ස්වාධීන කණ්ඩායමේ නායකයින්ට තම ජාතියට වඩා මුදල් ලොකු වෙලා. මුස්ලිම් ජනතාවට අසාධාරණකම් වුන හැම අවස්ථාවක දීම මම අදහස් පළ කළා. ජති, ආගම් භේදයෙන් තොර රටක් නිර්මාණය කළ යුතුයි. මහජාතිය, සුලු ජාතිය කියා ජාතිභේදයක් වැඩක් නැහැ. ශ්‍රී ලාංකීය ජාතිය පමණයි වැදගත් වන්නේ. ජාතිය, ආගම, කුලය කියන්නේ තිරිසන් මානසිකත්වයකටයි. එවැනි පුද්ගලයෙකුට රට බාරදීම සුදුසු නැහැ.”

– ප‍්‍රසන්න අධිකාරී

No comments

Powered by Blogger.