Header Ads

මියන්මාර සරනාගතයින් ලංකාවට ඇවිත් තියෙන්නේ “මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” පොත කියවලා…

ඊයේ ගල්කිස්සේදී අසරණ වූ මියන්මාරයේ සරණාගත නෝනා මහත්වරුණි,

විජය කුමාරයා ලංකාවට ගොඩබැස කුවේණිව ඉස්සු විට කලබල වූ කුවේණිගේ නෑදෑ හිතුමිතුරන් ලෙස හැසිරෙන පිරිස්, ඔබලා කට්ටිය සරණාගතයන් නොව මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට කෙලවීමට පැමිණි ඔත්තුකරුවන්, ත්‍රස්තවාදීන්, අන්තවාදීන් සහ විදේශ හමුදාවන් ලෙස හැදින්නුවත් ඔබලා අනිවාර්යයෙන්ම සරණාගතයන් කට්ටියක්ම බව මට ෂුවර් වුයේ, සිතියමේ මෙච්චර රටවල් තිබෙද්දීත් ලංකාවම සොයා පැමිණීමට ඔබලා තීරණය කර ඇතිබව වැටහුණු මොහොතේය. මට තක්කෙටම වැටහුණු අනෙක් කරුණනම් ඔබලා මේ තීරණයට එළබෙන්නට ඇත්තේ ‘මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ යන පොත් පිංච කියවීමෙන් පසුව බවත් ඔබලාගේ රටේ තිබෙන යම් යම් ප්‍රශ්න නිසා 2015 ජනවාරි 8න් පසු ඔබලාට පත්තර, TV, රේඩියෝ තබා නාන තොටකදීවත් ලංකාව ගැන ආරංචියක් ලැබී නැති බවත්ය.

ඔබලා ගල්කිස්සේ පදිංචි වුයේ ශාන්ත තෝමස් විද්‍යාලයට පොඩි එවුන් දමා ගැනීමට ඇඩ්‍රස් හදාගන්නට පහසු නිසා බව ඒ පැත්තේ මිනිස්සු කතාවෙති. ග්‍රාම සේවක මහතා පවසා තිබුනේ බුද්ධාගම රාජ්‍ය ආගම වූ රටේ සිල් රෙදි බෙදා දී ජනපති ලේකම් අවුරුදු 3කට හිරගෙදරට ගියානම් කොහෙන්වත් ආ මුස්ලිම් සෙට් එකකට කන්න බොන්න ඉන්න හිටින්න දී මට නිකරුනේ මහ උළු ගෙදර ලගින්නට බෑ කියාය. මේ අයත් 2017 වසරේ ලංකාවට ආ විදේශ සංචාරකයන්ගේ ලිස්ට් එකට දමා නොම්බරේ උස්සගන්න විදියක් නැත්දැයි ජෝන් ඇමතිතුමා ඇසුවත් ගල්කිස්සට ආ සංචාරකයන් කියා තිබුනේ අමාරුවෙන් අපි කන කොත්තුවටයි ආප්ප වලටයිත් කෙළවෙන සීන් එකක් මේ අලුත් ජනගහණය නිසා සිදුවිය හැකි බවය. 100-101 පානදුර කොටුව රූට් එකේ කොන්දොස්තර මහතෙක් අසා තිබුනේ මිටපස්සේ ගල්කිස්සට යන්න මියන්මාර් වීසා ගන්නට අවශ්‍යදැයි කියාය. රටේ ලෝකේ විස්තර දන්නා දෙහිවල ගල්කිස්සේ හිටපු නගරාධිපතිතුමා කියා තිබුනේ දෙහිවල සිටින මාලදිවයින් සෙට් එකත් ගල්කිස්සේ මියන්මාර් සෙට් එකත් අතර ශුන්නි – ශියා වර්ගයේ මුස්ලිම් ගැටුමක් ඉරානයේ සහ ඉරාකයේ අතර මෙන් ඇතිවීමට ඉඩ ඇති බවය. ඉරාජ් ෆේස්බුක් ලයිව් එකේ කීවේ අපිට ජාති ආගම් බේදයක් නැති බවත් රසිකයන්ගෙන් එකතුකරගත් චීස් සොසේජස් සහ ආනමාළු කෙසෙල් ගෙඩි පියුමි හංසමාලි නෝනත් සමග ගොස් හෙට මේ සෙට් එකට බෙදා දෙන බවය.

රටම කතා වුනත් තාම ඇස් දෙකට නොදුටු නෝනාවරුනි මහත්වරුණි, ජොබ් මිලියනයක් ඇතිබව අසා තිබු ඔබ යුරෝපයට නොයා ජර්මන් තාක්ෂණයෙන් යුතු ෆොක්ස් වැගන් කොම්පැණියේ වැඩකරන්නට මෙහෙ ආපු එක අසාධාරණ නැත. අනෙක් අතට හදිස්සියට දමා ආ පවුලේ අනෙක් අය සමග ගුගල් ලුන් හරහා ෆ්‍රී වයි ෆයි වලින් කනෙක්ට් වෙන්නටත් මෙහෙ ආ තරුණ දරුවන්ට ලෝකයේ අඩුම මිලට කාර් එකක් ගන්නටත් තැබූ බලාපොරොත්තුවද නරක නැත. හොරු අල්ලා එකතුවූ සල්ලි සහ රත්තරන් නිසා සුඛිත මුදිත වූ ආර්ථිකයෙන් ඔබලාට මොකක් හරි ගොඩදාගන්න පුළුවන් වේයැයි සිතීමද වැරදි නැත. අන්තවාදී හාමුදුරුවරු හිරේදමා ජාත්‍යන්තරය හොදටම දිනා ලෝකයෙන්ම හෝ හෝ ගා උදව් ලැබෙමින් තිබෙන බව සිතු ඔබ, හදිස්සියකටවත් ඔබ සමග ආ කාන්තාවක් පරණ නිසාවත් බ්රෙසියරයක් ගලවා විසිකළහොත් මඩුවලිගෙන් කන්න වෙනබව නොදැන සිටීම ඔබේ අඩුපාඩුවක් නොවේ.

ඔබලාගේ බෝට්ටුව අතරමගදී පෙරලුනානම් රතුකුරුසෙන්වත් වන්දියක් ගන්නට පුළුවන් වුනාට මෙහෙ කුණු කන්දකට යටවී මැරුනොත් මොන දෙයියන්ට කියන්නද? මගේ අදහස නම් ඔබලාට තිබෙන එකම බලාපොරොත්තුව රවී කරුනානායක මහතාගේ නෝනාය. මහ බැංකුව හරහා එතුමිය හමුවී සාකච්චාකර ගත්තොත් 20 වෙනි සංශෝධනය කළා වගේ ඔබලාගේ ප්‍රශ්නයත් පාර්ලිමේන්තු ලෙවල් එකෙන්ම පට් පට් ගා විසදා ගත හැකි වනු ඇත. ඔබෙන් නොඅසාම ඔබ වෙනුවෙන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තබන පිරිමි හෙද මහතකු වන සමන් රත්නප්‍රිය මහතා ඔබේ නෑදෑයකු බව ඔබ සමග ආ අයම වැරදියට වටහා ගැනීමට ඉඩ ඇති බව කල්තියාම දැනුවත් වී සිටීම කෝකටත් හොදය. විදේශිකයන් නිසා කොමිසම් ගානේ උසාවි ගානේ උත්තර දෙන්න එන්න බැහැ යයි ඔබලාට ආඩම්බරයෙන් කිව හැකි මුත් වැරදිලාවත් රථවාහන වැරැද්දකට හසුවුවහොත්, මියන්මාරයේ සිට ලංකාවට ඒමට බෝට්ටුවට ගෙවුවාට වඩා වැඩි මුදලක් දඩයක් ලෙස රථවාහන පොලීසියට ගෙවීමට සිදුවන බවද මතක්කර තබමි.

මගේ එකම පැතුම ඔබලා ගල්කිස්සට ආ විත්තිය ජනාධිපතිතුමා පත්තරයකින් දකිවා යන්න නොව ජනවාරි 8න් පසු අච්චු ගැසූ පත්තරයක් ඔබලාගේ ඇස වල ගැටේවා යන්නය!

මිලින්ද රාජපක්ෂ

No comments

Powered by Blogger.