Header Ads

ආබාධිත දරු දෙදෙනා ගසක ගැට ගසා අම්මා සිඟමනේ ගිහින්

සිය ආබාධිත දරුවන් දෙදෙනකු යාල වනෝද්‍යානයට ආසන්න හුදකලා ප්‍රදේශයක ගිනි අව්වේ දවස පුරා ගැටගසා තවත් ආබාධිත දරුවකු සමඟ සිඟමනේ යෙදෙන මවක කතරගම පොලිසිය විසින් ඊයේ (21 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

කතරගම, නාගහවීදිය ගම්මානයේ හුදකලා ප්‍රදේශයක ගැටගසා සිටි මෙම ආබාධිත පිරිමි දරුවා සහ ගැහැනු දරුවා පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ කතරගම රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්‌ස හිමියන් වෙතය.

වයස අවුරුදු 09 ක්‌ පමණ වන වයසේ පිරිමි දරුවකු හා වයස අවුරුදු 17 ක්‌ තරමේ ගැහැනු දරුවකු ගසක හා කොන්ක්‍රීට්‌ කණුවක රෙදිකඩවලින් බැ`ද දමා තිබූ අයුරු දැක ගත හැකි වූ අතර මෙම දරුවෝ අව්රශ්මියට හසු වී දැඩි ලෙස විඩාවට පත්ව සිටියහ.

මෙම දරුවන් ගැට ගැසූ තැනම මළ මුත්‍රා කර තිබුණු අතර කිසිදු ආහාරයක්‌ හෝ ජල බෝතලයක්‌ හෝ මෙම දරුවන් වෙනුවෙන් එම ස්‌ථානයේ නොතිබුණි.

මෙම දරුවන්ගේ පියා මිය ගොස්‌ ඇති අතර මව තවත් ආබාධිත ගැහැනු දරුවකු පූජා භූමියට රැගෙන ගොස්‌ යාචක වෘත්තියේ යෙදෙන බව අසල්වාසීහු පැවසූහ.

වසර ගණනාවක්‌ පුරා මෙම දරුවන් මේ අයුරින් දිනපතාම ගැටගසා මව අනිත් දරුවා සමග පූජා භූමියේ සි`ගමනේ යෙදෙන අතර දරුවන්ගේ මව නිතරම බීමත්ව සවසට පැමිණ මෙම දරුවන්ට පහර දෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම දරුවන්ගේ මව කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය පැවසුවේ සැමියා මිය ගොස්‌ ඇති බවත් දරුවන් මන්දබුද්ධික බැවින් ළමා නිවාසයකටවත් භාර නොගැනීම නිසා අනිත් දරුවා සමග පූජා භූමියට ගොස්‌ සිඟමනේ යෙදී මෙම දරුවන්ට කෑම සොයා දෙන බවත්ය.

කතරගම පොලිසිය විටින් විට පැමිණ මෙම මවට හා ඇයගේ අනියම් සැමියාට මෙම දරුවන්ට නිසි රැකවරණය ලබා දෙන ලෙස පොලිසියේ ළමා හා කාන්තා අංශය විසින් උපදෙස්‌ දී තිබේ.

මෙම දරුවන් දෙදෙනාට අමතරව අවුරුදු 18 ක පමණ තවත් ගැහැනු දරුවකු ද මෙම මව විසින් කතරගම අංක 02 පාලම අසල හිඳවා සිඟමනේ යොදවන බව ද මෙහිදී හෙළි වී තිබේ. ගැහැනු දරුවා සමග ගස්‌වල බැඳ සිටි දරු දෙදෙනාද කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් එහිදී මෙසේ ද පැවසූහ.

ලෝක ළමා දිනයට පමණක්‌ ළමුන් ගැන කතා කරන රටක්‌ මේක. මේ දරුවන් ගස්‌a බැඳලා තිබුණෙ ඉතාම අමානුෂික ලෙස. මවක්‌ විසින් ඇයි මෙහෙම කරන්නේ. දරුවන් මානසික රෝගයකින් පෙළෙන බව මව පවසනවා. නමුත් මම ඇවිත් දරුවන්ට වතුර දුන්නා කෑම කැව්වා ළමුන් හිනා වෙලා කෑවා බිව්වා.

මේ ළමුන්ට ආදරය කරුණාව ලැබිලා නැහැ. අසරණ දරුවෝ අසූචි ගොඩේ ජීවත් වෙනවා ගිනි ගහන අව්වට දුර්වල වෙනවා. රජයේ ළමා ආරක්‍ෂක අධිකාරිය ළමා අයිතිවාසිකම් සුරකින ආයතන .මේ දරුවන් පිළිබ`දව සොයා බැලිය යුතුයි. මානසික රෝග තිබුණා කියලා දරුවන්ට තිරිසනුන් වගේ සැළකීම හොඳ නැහැ. මෙම දරුවන්ගේ මවත් බීමත්ව සිටින අයකු බව ගෙදර ඇති අරක්‌කු බෝතල් දැක්‌කම පේනවා.
කතරගම - කේ. ඩී. දේවප්‍රිය

No comments

Powered by Blogger.